BREAKING NEWS

Saturday, 29 October 2016

විමල්ගේ නිවසේදී මියගිය තරුණයාගේ මරණය ගැන සැකයක්‌

ජාතික නිදහස්‌ පෙරමුණ නායක, එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ හෝකන්දර මංගල මාවතේ පිහිටි නිවස තුළ නින්දේ පසු වූ තරුණයකු වන 24 හැවිරිදි ලහිරු ජනිත් දිසානායක යන අයගේ මරණය සැක සහිත බවට ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂකවරයා විසින් පවත්වන ලද මරණ පරීක්‍ෂණය අනුව ලබා දුන් තීරණයෙන් පසුව කඩුවෙල මහෙස්‌ත්‍රාත් ධම්මික හේමපාල මහතා සිද්ධියට අදාළ මූලික විමර්ෂණ සිදු කර අධිකරණයට වාර්තා කරන ලෙසට තලංගම පොලිසියට නියෝග කළේය.

විනිසුරුවරයා විසින් ඊයේ (27) පෙරවරුවේ මන්ත්‍රීවරයාගේ නිවස වෙත ගොස්‌ ස්‌ථානීය පරීක්‍ෂණයක්‌ සිදු කරන ලදී. 
මියගිය ලහිරු ජනිත් යන තරුණයා විමල් වීරවංශ මහතාගේ පුත් විභූති විශ්වජිත් වීරවංශ යන අයගේ මිතුරකු බවට හඳුනා ගෙන තිබේ.
පසුගිය 25 වන දා රාත්‍රී එම තරුණයා විමල් වීරවංශ මහතාගේ පුත්‍රයා ඇතුළු තවත් තරුණයන් තිදෙනකු සමඟ රූපවාහිනිය නරඹමින් සිට නින්දට ගොස්‌ ඇති බවත් මියගිය තරුණයා එම නිවසේ සාලයක තනිව නින්දේ සිට ඇති බවත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත.
පසුදා උදේ ඔහු අවදි කිරීමට ගිය අවස්‌ථාවේ, එම තරුණයා කිසිවක්‌ කතා නොකර ඇති අතර ඒ මොහොතේම ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරන විටත් මියගොස්‌ සිටි බවට හදිසි මරණ පරීක්‍ෂක ඩබ්ලිව්. සී. ටී. ගලගෙදර මහතා හමුවේ පැවැති මරණ පරීක්‍ෂණයේදී ප්‍රකාශ වී තිබේ.
මියගිය අයගේ නාසයෙන් රුධිරය වහනය වී ඇති බාහිර සලකුණු කිහිපයක්‌ දක්‌නට ඇති නිසා ඔහුගේ මරණය සැක සහිත බව නිගමනය කළ මරණ පරීක්‍ෂකවරයා විවෘත තීන්දුවක්‌ ප්‍රකාශයට පත් කරමින් ඒ සම්බන්ධයෙන් කඩුවෙල මහෙස්‌ත්‍රාත්වරයා වෙත වාර්තා කිරීමට පොලිසියට නියෝග කර තිබිණ.
ඒ අනුව මහෙස්‌ත්‍රාත් ධම්මික හේමපාල මහතා මියගිය අය නින්දේ සිටි බව කියන විමල් වීරවංශ මහතාගේ නිවසට ගොස්‌ ස්‌ථානීය පරීක්‍ෂණයක්‌ සිදු කරන ලද අතර මියගිය අයගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණයක්‌ පවත්වා අදාළ වාර්තා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට තලංගම පොලිසියට නියෝග කළේය.
(ඡායාරූපය -දිවයින)

Share this:

Post a Comment


 
Copyright © 2014 33000V 33000lk 30000NEWS 33000w.com Goossip Lanka News. Designed by OddThemes | Distributed By Gooyaabi Templates