BREAKING NEWS

Monday, 10 October 2016

මංගල දවසේ මනාලියගේ උරහිස මත මනාලයා මියයයි

වසර තුනක පමණ කාලයක්‌ තිස්‌සේ පවත්වාගෙන ගිය ප්‍රෙම සම්බන්ධය මල් පල ගන්වමින් විවාහ දිවියට ඇතුළත්ව සිය මනාලිය තම නිවසට කැන්දාගෙන එන අතුරතුරදී පසුගියදා (7 දා) මනාලියගේ දෑත මත මනාලයා හෘදයාබාධයකින් මියගිය අතිශය හදකම්පා කරන පුවතක්‌ ඉබ්බාගමුවෙන් වාර්තා විය.

මේ අතිශය ශෝක ජනක සිදුවීම පෙම්වතුන්ගේ පමණක්‌ නොව කාගේත් කම්පාවට හේතු වී තිබේ. එම පුවත අසා කම්පාවට පත් අපි ද එම නිවස සොයා ගියෙමු. එහි ගිය අපට අසන්නට ලැබුණේ විලාප හඬ පමණි.මනාලයා ඉබ්බාගමුව තලහින්න පදිංචි පී.ඒ. ඉසුරු සම්පත් රණතුංගයි. වයස අවුරුදු 25 කි. මනාලිය දකුණේ මාතර හක්‌මන පනම්විල 24 හැවිරිදි තරුණියකි.මනාලියක සේ සැරසී තලහින්න ගම්මානයට එන්නට පෙරුම් පිරූ ඇය තම සැමියාගේ පෙම්වතාගේ දේහය අසල වැළපෙන අයුරු දකින බොහෝ දෙනා පැත්තකට වී කඳුළු සලන අයුරු අපි දුටුවෙමු.


මොහොතක්‌ නිහඬව සිටි අපි මනාලියගෙන් පෙම් කතාන්තරය පිළිබඳ විමසා සිටියෙමු.

මම මාතර හක්‌මන, ඉසුරු ඉබ්බාගමුවේ, අපි දෙන්නා 2014 කතරගම වන්දනාවේ ආවා. එදා තමා ඔහුත් මාත් ප්‍රථම වරට දැක්‌කේ. දැක්‌කදාම මගේ සිත ඇදී ගියා. ඊට පසු ඔහු සමඟ කතා කළා. ඉසුරුගේ දුරකථන අංකය මට දුන්නා. ඉතින් අපි දුරකථනයෙන් නිතරම කතා කළා. ඊට පස්‌සේ එයා දෙමාපියන් සමඟ අපේ නිවසට ආවා. ඇවිත් විවාහයට කැමැත්ත පළ කළා. 6 වැනිදා තමයි විවාහ උත්සවය ගත්තේ.

එයා මාත් එක්‌ක විහිළු කරමින් ඩාන්ස්‌ කළා.  අපි ඉබ්බාගමු එන්න පිටත් වුණේ සවස 3.30 ට විතර මාතර අධිවේගී මාර්ගයේ සුන්දර තැනක්‌ දැකලා පින්තූර ටිකක්‌ ගනිමුයි කියලා අපි පින්තූර ගත්තා. ඒ තමයි අවසානවතාවට ගත් පින්තූර. ඇහැලිගොඩ නගරයට එන විට රාත්‍රි 8.30 ට පමණ ඇති. අපි දෙන්නා අනාගතය ගැන විවිධ කතා කියමින් විහිළු කර ගනිමින් මංගල රථයේ ආවේ.

එක පාරටම එයා මට මහන්සියි මං ටිකක්‌ නිදා ගන්නවා. ඔයාගේ කරට හෙත්තු වෙන්නම් කියලා මගේ කරට හිස තියා ගත්තා. මට වෙනසක්‌ දැනුණා. වාහනය නතර කරන්න කියලා අනෙක්‌ අයටත් දැනුම් දුන්නා. පසුව එයාට සිහිය නැහැ. අපේ ඥතීන් ඉසුරු ඉක්‌මනට අවිස්‌සාවේල්ල රෝහලට ඇතුළත් කළා. දොස්‌තර මහත්වරු කීවා වැඩක්‌ නෑ හරිම කනගාටුයි මිය ගිහිල්ලා කියලා. අනේ මට කතා කරගන්න බෑ. ඇය හඬන්නට වූවාය. අපි නැවත ඇය සමඟ කතා නොකෙළෙමු.

මියගිය ඉසුරුගේ ලොකු අම්මා වන එම්. එම්. සෞම්‍යලතා මහත්මිය මෙසේ පැවසුවාය.

මගේ පුතා මේ දින ටිකේම ඉතාම සන්තෝසෙන් හිටියේ. ලොකු අම්මේ මං අද මනාලිත් එක්‌ක ඩාන්ස්‌ කරනවා. ලස්‌සනද බලන්න කියලා ටික වේලාවක්‌ ඩාන්ස්‌ කළා. ඊට පස්‌සේ අපි ළඟට ඇවිල්ලා මං හෙට ගෙදර එනවිට හොඳ ලස්‌සනට සරසලා තියන්න ඕනෑ. මගේ යාළුවෝ උදව් කරයි කීවා.

දොස්‌තර මහත්වරු මරණ පරීක්‌ෂණයේදී කිව්වේ දිගටම මහන්සිවීමත් නිදි මැරීමත් ආහාර නොගැනීමත් අධික සතුටත් නිසා ඇතිවූ හෘදයා බාධයක්‌ නිසා මියගිය බවයි. අපේ නංගිටත් අයියාටත් මේ දරුවා විතරයි ඉන්නේ අනේ මේ වගේ දෙයක්‌ ඇයි දරුවාට සිදු වුණේ.

ඉසුරුගේ පියාවන පී.ඒ. රණතුංග මහතා හඬා වැළපෙමින් මෙසේ පැවැසීය.

ඒ දරුවට අපි ළඟ ඉන්න තිබූ කාලය අවසන් කළා. ඒ නිසා දරුවා දෙවියෝ උදුරා ගත්තා. පුතා ජනශක්‌ති ඉන්ෂුවරන්ස්‌ කුරුණෑගල ශාඛාවේ වැඩ කළා. 2015 යොවුන් පාර්ලිමේන්තුවටත් තරග කළා. අද 08 වැනිදා අට සීයයකට මඟුල් කියලා තිබුණා. නමුත් එයා අද නෑදෑයන් මිතුරන් දෙමාපියන් හැරගිල්ලා. මගේ පුතා සමාජ වැඩකටයුතු වලට ඉතාම දක්‌ෂයි.

මාතර මංගල උත්සවයට එයාගේ යාළුවෝ ඔක්‌කෝම එක්‌ක ගියා. 6 වැනිදා පාන්දර 1.30 ට තමයි අපි මාතර බලා පිටත් වුණේ. නමුත් 7 වැනිදා රාත්‍රි 8.30ට එයා ගෙදර ආවේ පෙට්‌ටියෙන්. මේවාගේ විපත් අහන්න දකින්න ලැබෙන්න එපා. එයාගේ ජීවිතේ හොඳම කාලේ හොඳම දවසේ එයා අපෙන් සමුගත්තා. මනුස්‌සයෝ හැටියට මේ දුක අපිට උහුලන්න බැහැ.

නෑදැ හිතමිතුරන් සමඟ තම මංගල උත්සවය උත්කර්ශවත් අන්දමින් සමරන්නට කටයුතු සංවිධානය කළ ඉසුරු සම්පත් ඉරිදා (ඊයේ 9 දා) හවස සිය පෙම්බරියගේත් නෑදැ හිතමිතුරන්ගේත් විලාප හඬ මැද්දේ තලහින්න පොදු සුසාන භූමියේදී අවසන් වරට සැතපුණේය.


Share this:

Post a Comment


 
Copyright © 2014 33000V 33000lk 30000NEWS 33000w.com Goossip Lanka News. Designed by OddThemes | Distributed By Gooyaabi Templates