මෝටර් රථයක් මිලදී ගන්නවා කියන එක අපි හැමෝගෙම හිත් වල තියන හීනයක්. අඩුම වශයෙන් ටාටා නැනෝ රථයක් වත් තමන්ටම කියලා තියන එක ආඩම්බරයක්.
වර්තමානයේ සමහර මෝටර් රථ වල මිල ගණන් විශාල ලෙස ඉහළ ගියත් පාරවල් වල වාහන වලින් නම් අඩුවක් නෑ. මේ අතරේ සාමාන්‍ය මෝටර් රථයකට වඩා ලොව මිල අධිකම සුපිරි මෝටර් රථ මිලදී ගැනීමට හීන දකින අයත් ගොඩාක් මේ පුංචි රටේ ඉන්නව.
ආර්ථිකය අතින් අපේ රට ලෝකයේ බොහෝ දියුණු රටවලට වඩා පසුපසින් සිටියත් කොළඹ ඇතුළු ප්‍රධාන පෙළේ නගර වල මංමාවත් වල ගමන් කරන වාහන දුටු විටනම් මේ ලංකාවද කියා සිතෙනවා. එතරම් සුපිරි මෝටර් රථ රැසක් මේ පුංචි දූපතේ තිබෙනවා.
ලැම්බොගිනි, ඇස්ටන් මාටින්, ටෙස්ලා, හමර්, Nisaan GTR, Ford Mustang, BMW i8, Dodge SRT challenger හා Porsche 718 කියන්නෙ මෙම මෝටර් රථ අතුරින් සමහරක්. මේ අතරට පසුගියදා තවත් සුවිශේෂී කාරයක් එකතු වුණා. එය එතරම් සුවිශේෂී
වන්නේ මෙතෙක් ලංකාවට ගෙන්වූ මිල අධිකම මෝටර් රථය එය නිසා. Rolls-Royce Wraith එසේත් නැත්නම් රෝල්ස් රොයිස් අවතාරය ලෙස එම මෝටර් රථය හඳුන්වනු ලබනවා.
Wraith කියන්නේ රෝල්ස් රොයිස් සමාගම නිපදවූ ජවසම්පන්නම ප්‍රබලම මෝටර් රථය වනවා. ලංකා මුදලින් බදු සහිතව රුපියල් කෝටි 15ක් පමණ වී ඇති
මෙම මෝටර් රථයේ බදු රහිත මිලත් රුපියල් කෝටි 6ක් පමණ වනවා. ද්විත්ව ටර්බෝ v12 එන්ජිමක් සහිත මෙය ස්වයංක්‍රීය වේග 8න් යුත් ගියර් පද්ධතියකින් සමන්විතයි.
සාමාන්‍යයෙන් බොහෝමයක් ධනවත් පුද්ගලයින් තමන්ගේ ගමන් යාම සඳහා පෞද්ගලික රියැදුරකු භාවිතා කළත් මෙම රථය පැදවීමට රියැදුරකුට ඉඩ නොදී සිටීමට සිතෙන තරමට මෙම කාරය පදවන පුද්ගලයාට පහසුවෙන් වාහනය රැගෙන යා හැකි ලෙස සකස් කර තිබෙනවා.
මෙම රථයේ අභ්‍යන්තර අලංකරණයද ඉතා විශිෂ්ට ලෙස සකසා තිබෙනවා. ෆයිබර් ඔප්ටික් තාක්ෂණය මගින් ඇතුළත වහලය තරු පිරි අහසක් ලෙස සකසා ඇති අතර ගනුදෙනුකරුට අවශ්‍යනම් තමා ඉපදුණු මොහොතේ එම නගරයේ ඉහළ අහසේ තිබූ තාරකා සැකැස්ම රථයේ වහලයේ විදුලි බුබුළු සැකැස්ම ලෙස නිර්මාණය කිරීමට පවා පුළුවන්. මේ සඳහා අමතරව රුපියල් මිලියනයක් පමණ වැය වනවා. අපටනම් එම මුදලින් තව කුඩා මෝටර් රථයක් පවා
මිලදී ගන්නට පුළුවන් නමුත් මෙතරම් විශාල ගණනක් වියදම් කර මෙම කාරය මිලදී ගැනීමට හැකියාව තිබෙන ධනවතුන්ට නම් ඒ මුදල එතරම් ගණනක් නොවේ.
මෙම කාරයේ තවත් විශේෂත්වයක් වන්නේ ඔබ වළවල් සහිත පාරක ගියත් අධිවේගී මාර්ගයක ගියත් පැයට කිලෝමීටර් 30ක වේගෙන් ගියත් 100ක වේගයෙන් ගියත් ඔබට දැනෙන්නේ එකම සුවපහසු හැඟීමක් බව පැවසෙනවා. අශ්වබල 624කින් යුත් V12 එන්ජිම නගන ශබ්දය නොඇසෙන තරම් කුඩා වන අතර ගැස්සීම් සෙලවීම් නොදැනෙන ලෙස සකසා තිබීම නිසා මෙහි ගමන් කිරීම පාවෙන පලසක් මත ගමන් කරනවා වැනි හැඟීමක් ඇති කරනවා.
බොහෝදෙනාගේ කතා බහට ලක්වී ඇති තවත් විශේෂාංගයක් වන්නේ සැටලයිට් තාක්ෂණය සපිරි ගියර් පද්ධතියයි. GPS තාක්ෂණය මගින් ගමන් කරන මාර්ගයේ ඉදිරිය පිළිබඳව දත්ත ලබාගන්නා කාරය මාර්ගයේ ස්වභාවය අනුව භාවිතා කළ යුතු ගියරය කලින් තෝරාගෙන තිබෙනවා. ඔබ එකපාරට විශාල වංගුවක් දැක වාහනයේ වේගය අඩු කිරීමට සිතන විටත් කාරය
අඩු ගියරයකට ගොස් වේගය අඩු කර හමාරයි. මෙම පද්ධතියේ තවත් සුවිශේෂීත්වයක් වන්නේ එයට රියැදුරාගේ සිත කියවීමට පුළුවන් වීමයි. ඒ කියන්නේ රියැදුරා හදිසියෙන් ආවේගශීලී ලෙස වාහනය පදවන විට එයට ගැලපෙන ලෙස ගියර් මාරු වන ආකරය වෙනස් වන අතර රියැදුරා කලබලයෙන් තොරව වාහනය පදවන විට ඒ ආකාරයෙන් සුමට ලෙස ගියර් මාරු වීම සිදුවනවා.
නමුත් මෙසේ ස්වයංක්‍රීයව ගියර් මාරු වන බවක් රථය පදවන පුද්ගලයාට නොදැනෙන අයුරින් ඉතාමත් නිරවද්‍යව ක්‍රියාකරනවා. හැබැයි මෙම පද්ධතිය ක්‍රියා විරහිත කිරීමට හැකියාවක් නම් නෑ.
ස්වයංක්‍රීය දොර දෙකකින් සමන්විත මෙම කාරයේ දොරවල් හි අසාමාන්‍ය විශේෂත්වයක් ඇත. ඒ දොර තුළ කුඩයක් තිබීම. කිසිම විටක කුඩය කනපිට නොහැරෙන ලෙස සකසා ඇති මෙම කුඩය බටර් වගේ පහසුවෙන් ඉහලන්න හා අකුලන්න පුලුවන් බව පැවසෙනවා.
මෙම කාරය මගින් ඔබට ලැබෙන ගාම්භීර පෙනුම අනිවාර්යෙන්ම මෙය මිල අධික වීමට හේතුවක්. ඔබ පාරේ ගමන් කරන විට අනෙක් මෝටර් රථ ඔබට පාරේ ඉඩ දීමට පවා සිතෙන ලෙස සද්ධන්ත පෙනුමකින් හා මනා නිමාවකින් මෙම කාරය නිමවී තිබෙනවා.
අවසාන වශයෙන් මෙම කාරයේ සුවිශේෂීම ලක්ෂණය සඳහන් කරන්නම්. ඒ තමයි මෙම කාරය ඔබට මිලදී ගැනීමට නොහැකියි. මෙම කාරයේ අධික මිල නිසා මෙය සාමාන්‍ය පුද්ගලයකුට මිලදී ගත නොහැකි අති සුඛෝපභෝගි සුපිරි මෝටර් රථ කාණ්ඩයට අයත් වන කාරයක්. ඉතින් රටක් විදිහට අපි ආඩම්බර විය යුතුයි මෙවැනි මෝටර් රථයක හිමිකරුවෙක් අපේ පුංචි රටේ සිටීම පිළිබඳව.
කවිඳු වීරරත්න
Kavindu616@gmail.com
Kavindu616@gmail.com


Post a Comment