BREAKING NEWS

Tuesday, 27 December 2016

හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක අභාවප්‍රාප්ත වෙයි


හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා.මිය යන විට ඒ මහතා 83 වන වියේ පසුවූවා.
1933 වසරේ මැයි මස පස්වනදා රත්නසිරි වික‍්‍රමනායකයන් මෙෙලොව එළිය දුටුවා. මිල්ලෑව ප‍්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු වැඩිදුර අධ්‍යාපනය ලැබුයේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන්, හාට්ලි විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන්.

නීතිය පිළිබඳ බැරිස්ටර් උපාධිය ලබා ගැනීම සඳහා පසුව රත්නසිරි වික‍්‍රමනායකයන් බි‍්‍රතාන්‍යයේ ලිනකන්ස් ඉන් ආයතනයට ඇතුළු වුණා. එහෙත් සිය උපාධියේ අවසන් වසර විභාගයට පෙනී සිටීමට පෙර ඔහු නැවත ශ‍්‍රී ලංකාවට පැමිණියේ සිය වැඩිමහල් සහෝදරයාගේ හදිසි අභාවය හේතුවෙන්.
බි‍්‍රතාන්‍යයේ ජීවත් වූ සමයේ රත්නසිරි වික‍්‍රමනායකයන් එරට ලංකා ශිෂ්‍ය සම්මේලනයේ සභාපතිවරයා ද වුණා. අභාවප‍්‍රාප්ත වූ ඔහුගේ වැඩිමහල් සහෝදරයා ඒ වනවිටත් සක‍්‍රීය දේශපාලනයේ යෙදී සිටි අයෙක්. එම සහෝදරයාගෙන් පුරප්පාඩු වූ ලංකා සමසමාජ පක්ෂයේ හොරණ ආසනයේ අපේක්ෂකත්වය 1960 වසරේ දී රත්නසිරි වික‍්‍රමනායකයන්ට හිමි වුණා.
දේශපාලනය වෙනුවෙන් සිය බැරිස්ටර් උපාධිය ද කැප කළ රත්නසිරි වික‍්‍රමනායකයන් පළමු වරට පාර්ලිමේන්තුවට තේරීපත් වූයේ ද 1960 වසරේදීමයි. 1962 දී ඔහු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වුණා.
එතැන් සිට අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුවට තේරීපත් වූ රත්නසිරි වික‍්‍රමනායකයන් වරින් වර විවිධ නියෝජ්‍ය අමාත්‍ය ධුර සහ අමාත්‍ය ධුර හොබවනු ලැබුවා.
ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අග‍්‍රාමාත්‍යවරයා ලෙස පළමු වරට ඔහු දිවුරුම් දුන්නේ 2000 වසරේදීයි. ඒ, එවකට අග‍්‍රාමාත්‍ය ධුරය හෙබවූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ අභාවය හේතුවෙන්.
2005 – 2010 මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ද රත්නසිරි වික‍්‍රමනායකයන් අග‍්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළා. කලක් ඔහු විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා. ඒ, 2001 – 2002 සමයේදීයි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම්වරයෙකු ද වන රත්නසිරි වික‍්‍රමනායක මහතා අභාවප‍්‍රාප්ත වනවිටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කළා. වත්මන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වන විදුර වික‍්‍රමනායක රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ පුත‍්‍රයායි.

Share this:

Post a Comment


 
Copyright © 2014 33000V 33000lk 30000NEWS 33000w.com Goossip Lanka News. Designed by OddThemes | Distributed By Gooyaabi Templates